Friday, December 27, 2013

Balangoda

බළන්ගොඩ ආශ්‍රිත ගම් වලට නම් සෑදුනු අයුරු


කොටුගොඩැල්ල
බළන්ගොඩ නගර සභාව අසල ඇති කරව්කැටිය පාර ඔස්සේ කොටුගොඩැල්ල පාරට පිවිසිය හැකිය. නැතහොත් පෙට්ටිගල පාරේ මීටර් 150 ක් පමණ ගිය විට කොටුගොඩැල්ල පාර අනෙක් අන්තයෙන් පිවිසිය හැකිය. පෙර රජ සමයේ පිහිටි බලකොටුවක ඇති කොටු බැම්ම ආශ්‍රිත නටඹුන් සහිත බිමක් මෙහි පැවතීම මෙම ප්‍රදේශට මෙම නම ලැබීමට හේතුවී ඇත. මෙයට වසර 10-15 කට පෙර මෙම පෙදෙසේ කොටු බැම්මේ නටඹුන් පැහැදිළිව දැක දැකගැනීමට අපට හැකි විය. නමුත් වර්ථමානයේ ඒ ආසන්නයේ නිවාස රැසක් ගොඩනැගී ජනාකීර්ණ වීම හේතු කොටගෙන එම නටඹුන් අද පැහැදිළිව දැක
ගැනීම අපහසු වී ඇත‍. කොටුව තිබු ගොඩැල්ල යන්න කොටුගොඩැල්ල යනුවෙන් නම් ලැබී ඇත.
කරදියමුල්ල
බළන්ගොඩ ඕලුගන්තොට රෝහල අසලින් ඇති දෙල්ගහතැන්න මාර්ගයේ ගමන් කිරීමෙන් කරදියමුල්ල ප්‍රදේශයට පිවිසිය හැකිය. කුඹුරක තිබු ජල උල්පතකින් ලුණු ජලය (කරදිය) ගැලීමට පටන් ගත් නිසා මෙම ප්‍රදේශයට කරදියමුල්ල යන නම ලැබී ඇත.
මොලමුරේ , පනාමුරේ, පොල්ලමුරේ, ඉඹුලමුරේ
ඉහත ගම් වලට මැදිව පෙර රජ කාලයේ සිර කදවුරක් පැවත ඇත. එම සිර කදවුරට ආරක්ෂාව සදහා පිහිටා තිබු මුරපොලවල් නිසා අද මොලමුරේ , පනාමුරේ, පොල්ලමුරේ, ඉඹුලමුරේ යන ගම් සදහා මෙම නම් භාවිතා කරයි.
පුදුකාටුව
බළන්ගොඩ ,පින්නවල, හැටන් පාරේ යන විට හමුවන ගමකි, පුදුකාටුව . මෙය නව ජනාවාසයක් ලෙස සැලකෙන අතර මෙයට පුදුකාටුව යන දමිල භාෂා නම යෙදී ඇත්තේ අලුත් කැල්ල/කොටස යන අරුත් සපයමිනි.
ගවරන්හේන
ගවරා නම් විශාල අං ඇති සත්වයෙක් (ගව වර්ගයට අයත්) ජීවත් වු හේන මෙම නමින් හැඳින්වෙන බව පැවසේ. Bibos  sinhaleyus විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ වඳවී ගොස් ඇති සත්ත්ව විශේෂයක් ලෙස ගවරා සැලකේ. දැනට ඉන්දියාවේ මෙම විශේෂයේ එක් කාණ්ඩයක් ජීවත් වේ. පහත දැක්වෙන්නේ එම සතුන්ගේ ඡයාරූප කිහිපයකි.
ගවරා මාංශ භක්ෂකයෙකු නොවූවත් බළන්ගොඩ සමහර ගැමියන්ගේ මතය වී ඇත්තේ ගවරා යනු ආදරයට මිනිසෙක්ව ලෙව කෑවොත් ඉතුරු වන්නේ එම මිනිසාගේ ඇටකටු ටික පමණක් බවයි. ගවරගේ ශක්තිමත් කම නිසා මෙම මතය ඇති වී ඇතැයි සැලකිය හැකිය.
බලගහමුල
බළන්ගොඩ ඔරලෝසු කණුව ආශ්‍රිත ප්‍රදේශය බලගහමුල වේ. අතීතයේ රජ සමයේ මෙහි පැවති සුවිශාල ගසක මුල, දඬුවම් දුන් ස්ථානයක් ලෙස භාවිතා කල බව කියැවේ.

1 comment: